SLIIT ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයග්‍රාහි 20 වසරක අභිමානය සමරයි.



උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස SLIIT හි ජයග්‍රාහි විසි වසරක අධ්‍යාපනික විශිෂ්ඨත්වය, “Ethereal 2019( A celebration of a 20 year Odyssey” තේමාව යටතේ අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරි  කමිටුව විසින් උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා මාලබේ SLIIT  පරිශ්‍රයේදී සමරනු ලැබිණි.

මෙම වාර්ෂික සාංවත්සරික උළෙල පවත්වෙනතුරු SLIIT  ශිෂ්‍ය ශිෂ්‍යවන් මග බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඒ ඔවුන්ට තම ශාස්ත්‍රීය  දැනුමට අමතර දක්ෂතා එළිදැක්වීම සඳහා මෙම උළෙලේදී  අවස්ථාව හිමිවීම නිසාය. SLIIT කළමනාකාරීත්වයේ සහයෝගයෙන් සංවිධානය වන මෙම උළෙලේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් තම දක්ෂතා එළිදක්වනු ලබන්නේ ඉමහත් උද්යෝගයකිනි.

මෙහිදී SLIIT  ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා පැවසුවේ,  “SLIIT  ආයතනයේ දශක දෙකකට වැඩි විශිෂ්ඨ ජයග‍්‍රහණ සියළු දෙනා සමඟම බෙදාහදා ගැනීමට හැකිවීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටට පත් වනවා. නවකයින් අප සාදරයෙන් පිළිගන්නා අතර නව පරම්පරාවේ නායකයින් බිහි කිරීම වෙනුවෙන් අපගේ ආයතනයේ සම්පත් ලබා දීමට අප සුදානම්. ඔවුන්ට මේ අවස්ථාව ධෛර්යය සපයන වටිනා වේදිකාවක් වේවි’’.

 SLIIT   දින දර්ශනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන 2019 වසරේ සැමරුම වෙනුවෙන් අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී  කමිටුව සංවිධානය කළ උත්සවය ශ්‍රී ලාංකික සංගීත ක්‍ෂේත්‍රයේ සහ කලා ක්‍ෂේත්‍රයේ කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් වලින් ද පිරි තිබුණි.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ SLIIT  උප කුලපති, ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මෙසේ ප‍්‍රකාශ කළේය‘‘ අප මේ සමරනු ලබන්නේ ජයග්‍රාහී 20 වසරක විශිෂ්ඨ සන්දිස්ථානය පමණක් නොවෙයි, අපට ඉදිරියේදීත් මේ විශිෂ්ඨත්වය පෝෂණය කරමින් ඒ විශිෂ්ඨත්වයේ ජයග්‍රහණයෙන් බැබලීමට හැකියාව තිබෙනවා. SLIIT ආයතනය පුළුල් පරාසයක විහිදුනු ක්‍ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා. එමගින් රටත් ලෝකයත් යහපත් අනාගතයක් කරා මෙහෙයවන පිරිසක් බිහි කිරීමට හැකි වී තිබෙනවා.

මෙහිදී ‘‘ඩැඞී‘‘ සංගීත කණ්ඩායම, භාතිය සන්තුෂ්, මිහිඳු ආරියරත්න, චිත්‍රාල් සෝමපාල, දනිත් ශ්‍රී සහ නතාෂා රත්නායක සිසුන්ගේ සිත් සතන් පිනවමින් ඉදිරිපත් කිරීම් සිදු කළ අතර උත්සව අවස්ථාවේ උද්යෝගිමත් භාවය ඉහළ ඔසවමින් මෙරට ජනප‍්‍රියතම නර්තන ශිල්පියෙකුවන රමෝද් මාලක ප්‍රමුඛ ‘‘Coolsteps’’  නර්ථන කණ්ඩායමද නව තාලයේ නව්‍යකරණය වූ නර්තන අත්දැකීමක් තිලිණ කළේය.

එසේම SLIIT ආයතනයේ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් දක්ෂයින්ගේ Yaka Crew” Petrol  සහ Acapella සහ XY වැනි ජනප්‍රිය කණ්ඩායම් වල ප්‍රසංග  වලින්ද උළෙල තව තවත් හැඩ වූ අතර විනෝදාස්වාදයෙන් ඇලළී ගිය විශ්ව විද්‍යාලයේ අහස් තලය වර්ණවත් කරමින් ගිනි කෙළි සංදර්ශනයක්ද පැවැත්විණි. උත්සවය සඳහා 5000ට අධික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සහ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්,SLIIT අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් සහභාගී වූ අතර එහිදී ඔවුන් විනෝදාශ්වාදය ඉහළින්ම විඳගත්හ .

SLIIT කළමණාකාරිත්වය සංවිධායක කමිටුව වෙත ලබා දුන් අනුග්‍රාහකත්වයත් සමග මෙම  “Ethereal 19’’ උළෙල ප්‍රීතිමත් සාර්ථක යථාර්තයක් බවට පත් විය.
Share