POTENZA සහ NDB බැංකුව එක්වී බැංකුකරණ කටයුතු සඳහා රොබෝ තාක්ෂණික විසඳුමක් ප්‍රථම වතාවට හඳුන්වාදෙයි ප‍්‍රථම අදියර මගින් පමණක් වසරකට රු. මිලියන 11 ක පමණ ඉතිරියක්



2019 මැයි 07, කොළඹ: POTENZA (පුද්.) සමාගම NDB බැංකුව සමග එක්වී ප්‍රධාන පෙළේ බැංකුකරණ කටයුතු සඳහා රොබෝ තාක්ෂණික විසඳුමක්  (Robotic Process Automation – RPA) හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය මෙරට බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඒ අනුව, මෙරට ප්‍රථමවරට Digital Workforce නමින් හැඳින්වෙන Bots යොදාගනිමින් ප්‍රධාන පෙළේ බැංකුකරණ කටයුතු සඳහා RPA තාක්ෂණය භාවිතා කරන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත. එමෙන්ම මෙම පියවරත් සමග POTENZA ප‍්‍රථම වරට මෙරට බැංකුකරණ ක්ෂේත‍්‍රයට ප‍්‍රායෝගික මට්ටමින් RPA තාක්ෂණය හඳුන්වා දුන් සමාගම බවට පත්වේ.
RPA තාක්ෂණය යනු සමාගමක කාර්ය මණ්ඩලයට සමගාමීව වඩාත් කාර්යක්ෂම ලෙස රාජකාරි කටයුතු ඉටුකිරීම මූලික කරගත් තාක්ෂණයක් වන නිසා අදාළ සමාගමෙහි මෙහෙයුම් කටයුතු වල කාර්යක්ෂමතාව කැපීපෙනෙන ලෙස ඉහළ නැංවීමේ හැකියාව එය සතු ය. එමෙන්ම සාමාන්‍යයෙන් මිනිසුන් මගින් සිදුවන වැරදි මෙම තාක්ෂණය තුළදී ඇති නොවේ. සාමාන්‍යයෙන් කාර්යාලයක එදිනෙදා කටයුතු පූර්ණ වශයෙන්, දෝෂ මගහරවා ගනිමින්, දෛනිකව නැවත නැවත නිවැරදිව ඉටුකිරීමේ හැකියාව මෙම තාක්ෂණය සතු ය. එම නිසා විශ්ලේෂණය හා තීරණ ගැනීම වැනි සංකීර්ණ කටයුතු සඳහා මානව සම්පත වඩාත් පුළුල් ලෙස භාවිතා කළ හැකි වේ.

මෙම තාක්ෂණය භාවිතා කරන ප්‍රථම බැංකුව ලෙස NDB බැංකුවට මෙමගින් වාසි රැසක් අත්වනු ඇත. එමගින් බැංකුවේ මෙහෙයුම් වල කාර්යක්ෂමතාව ඉහළ යනු ඇති අතර මානව දෝෂ අවම වේ. POTENZA හඳුන්වා දී ඇති RPA තාක්ෂණය ප්‍රධාන වශයෙන් බැංකුවේ පාරිභෝගික ණය පහසුකම් ගිවිසුම් අනුකූලතා නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා භාවිතා වනු ඇත. ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ අතිශය වැදගත් අංගයක් වන මෙය මෙතෙක් සිදුවූයේ සාම්ප්‍රදායික ක්‍රමයට, කාර්ය මණ්ඩලයේ පූර්ණ දායකත්වය සහිතව ය.

NDB  බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දීපාල් අකුරටියගම මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ‘‘මේ ආකාරයට බැංකුවේ කටයුතු සඳහා RPA තාක්ෂණය යොදාගැනීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින් බැංකුවේ කාර්යක්ෂමතාව වැඩි වී, දෝෂ ඇතිවීමේ සම්භාවිතාව අවම වී, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් සැලසීමට අපට අවස්ථාව ලැබේවි. NDB බැංකුව ඩිජිටල්කරණය කරා යන ගමනේදී ඉදිරියට තවත් මෙවැනි හඳුන්වාදීම් රාශියක් සිදුකිරීමට අප බලාපොරොත්තු වනවා.”

මෙම නව පියවර පිළිබඳව අදහස් දක්වමින් POTENZA හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ධනුෂ මුතුකුමාරණ මහතා මෙසේ පැවසී ය. ‘‘මේ ආකාරයට RPA තාක්ෂණය හඳුන්වාදීම සඳහා NDB  බැංකුව සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සාමාන්‍ය ශ්‍රමයේ අවශ්‍යතාව පැය 3 දක්වා අඩුවේවි. ඒ වෙනුවට මෙම පද්ධතිය, පෙර සැලසුම් කළ කාලයක් ස්වයංක්‍රීයව  ක්‍රියාත්මක වනවා. එම නිසා, මීට පෙර මෙම කාර්යයන්හි නිරත වූ සේවක සේවිකාවන් ඊට වඩා ඵලදායී කටයුතු වල නිරත කරවීමට පුළුවන්. එමගින් ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන් සහ තීරණ ගැනීමේ හැකියාවන් වලිින් වඩාත් හොඳින් ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී, මෙම පද්ධතියේ සැලකිය යුතු වෙනස්කමක් සිදු නොකර එය වෙනත් කටයුතු සඳහාද යෙදවීමට හැකියාව ලැබේවි. එය NDB  බැංකුවට RPA ක‍්‍රියාවලිය වඩාත් පුළුල් කරමින්, තමන් සතුව පවතින සම්පත් වලින් වැඩි ප්‍රයෝජන ගැනීමට ලැබෙන අවස්ථාවක් වේවි.”

මෙම ප්‍රථම අදියරයෙන් පමණක් RPA තාක්ෂණය භාවිතා කිරීම නිසා NDB බැංකුවට වාර්ෂිකව රු. මිලියන 11 ක තරම් විශාල ඉතිරියක්ද ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.  එමෙන්ම මානව දෝෂ අවම වීමට සමගාමීව ක්‍රියාවලිවල නිරවද්‍යභාවය ඉහළ යාමට අමතරව ක්‍රියාවලි සරල වීම සහ වැඩි විනිවිදභාවයක් තහවුරු වීම වැනි තවත් ප්‍රතිලාබ රාශියක්ද ලැබෙනු ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම පෙලේ RPA පද්ධති නිර්මාණ සමාගමක් වන, ලොව පුරා පිළිගැනීම හිමි Automation Anywhere  වෙතින් POTENZA වෙත Centre of Excellence (COE)   තත්ත්වය හිමිවී ඇත. 2018 වසරේ නොවැම්බර් මාසයේදී Automation Anywhere  සමග හවුල්කාරීත්වයකට එළඹීමේ පටන්  POTENZA සමාගම බැංකු, රක්ෂණ, නිෂ්පාදන, වාණිජ, ඇඟලූම් හා පොදු සේවා යනාදී අංශ රාශියක් ආවරණය වන පරිදි RPA ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබේ. POTENZA මේ වනවිට Automation Anywhere    හි ආසියා පැසිෆික් කලාපය සඳහා හවුල්කරු ලෙස කටයුතු කරයි.

ව්‍යාපාර වල මානව සම්පත්, ක‍්‍රියාවලි සහ තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා මගපෙන්වන Business Transformation  සමාගමක් ලෙස POTENZA සමාගම ආරම්භ කරන ලදි. එම සමාගම සිය දේශීය උපදේශකවරුන් හරහා SAP, IBM, Oracle, ASG, WSO2  සහ Microsoft වැනි ජාත්‍යන්තර සමාගම් වල තාක්ෂණික පදනම් මෙරටට හඳුන්වා දෙයි. එමෙන්ම ERP, Digital  ඒක සහ Business Insights  යන කාණ්ඩ වලට අදාළ විශිෂ්ටතම විසඳුම් සිය සේවාදායකයන්ට හඳුන්වා දීමට සමාගම කටයුතු කරමින් සිටී. ඊට අමතරව ශක්තිමත් දේශීය සම්පත් ජාලයක් සමගින් එම සමාගම Implementations, Customizations, Value Engineering, Support, Upgrade  සහ Migrations යන අංශ වලට අදාළ තාක්ෂණික සේවාවන් පිරිනමයි.

රැකියා ස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමනාත්මාතව සම්බන්ධ ලොව එකම සහතිකකරණය වන EDGE  සහතිකය හිමිකරගැනීමට මෙතෙක් සමත් වූ එකම සමාගම NDB බැංකුවයි. එය මෙරට වේගයෙන්ම දියුණු වන මූල්‍ය සේවා සමූහ ව්‍යාපාර අතරින් එකක් වන NDB සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. මෑතකදී NDB බැංකුව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. Asiamoney සඟරාව මගින් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේශීය බැංකුව 2019’ සම්මානය, එක්සත් රාජධානියේ The Banker  මගින් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම බැංකුව 2018’ සම්මානය, ඇමරිකා එක්සත් ජනපදයේ Global Finance සඟරාව මගින් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව 2018’ සම්මානය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී බැංකු සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත්වීම ඒ අතරින් ප්‍රධාන වේ.
NDB සමූහ ව්‍යාපාරය NDB බැංකුවල NDB Capital, NDB Investment Banking, NDB Wealth  සහ NDB Securities යන සමාගම් වලින් සමන්විත වේ. ආරම්භය පටන්ම මෙම සමාගම් රටේ ව්‍යවසායකයන්ට, සමාගම් වලට හා පුද්ගලයන්ට ආර්ථික ක්‍රියාවලිය  තුළ අත්වැලක් වෙමින් රටේ සංවර්ධනයට වැදගත් දායකත්වයක් සපයා ඇත. එමෙන්ම NDBසමූහ ව්‍යාපාරයේ විසඳුම් හා සේවාවන් මගින් එහි සියලූම සමාගම් හා අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාබ  රාශියක් අත්වී තිබේ.

Share