HNB ෆිනෑන්ස් ලිමිටඞ් වෙතින් මොහොත්තුවාරම රජයේ සිංහල විදුහලට ජල පෙරණ පද්ධතියක්



HNB ෆිනෑන්ස් සිය තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ තවත් අර්ථාන්විත සමාජ කටයුත්තක නිරතවෙමින් කල්පිටිය මොහොත්තුවාරම රජයේ සිංහල විදුහල කාලයක් පුරා පීඩා විඳි පානීය ජල ගැටලූවට ජල පෙරණ පද්ධතියක් ලබා දෙමින් ඊට ස්ථිර විසඳුමක් ලබා දෙන්නට පසුගියදා පියවර ගන්නා ලදි. කල්පිටිය අර්ධද්වීපයේ කෙළවර පිහිටි මොහොත්තුවාරම ගම්මානයේ ජීවත් වූ පවුල් 150කට අයත් ¥ දරුවන් 47 දෙනෙකු ඉගෙනුම ලබන මොහොත්තුවාරම රජයේ සිංහල විදුහල 1 වසරේ සිට 5 වසර දක්වා පංති පවත්වන අතර පාසලේ ගරා වැටුණු ප්‍රධාන ශාලාව යළි පිිළිසකර කිරීමටද පාසැලට මෙතෙක් අඩුවක්ව පැවති නාම පුවරුවක් ඉදිකර දීමටද HNB ෆිනෑන්ස් ලිමිටඞ් කටයුතු කරන ලදි.

HNB ෆිනෑන්ස් හි තිරසර ආයතිනක සමාජ මෙහෙවරක් ලෙස නිම කෙරුණු මෙම ව්‍යාපෘතිය මාර්තු 13වන දින සිසු අයිතියට පත් වූ අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් HNB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සහභාගී වූ අතර HNB ෆිනෑන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කල්පිටිය නගරයට ඈතින්ම පිහිටි මොහොත්තුවාරම ග්‍රාමයේ  වැඩි දෙනෙක් ධීවර වෘත්තීය ජීවිකාව කර ගත් අතර පානීය ජල ගැටලූවට කාලාන්තරයක් පුරා මුහුණ දෙන ලදි. අර්ධද්වීපයක් වූ නිසාම මෙම ග්‍රාමයේ  බොහෝ ජල මුලාශ්‍රයන් ලවන සහිත වූ අතර එකම පානීය ජල මුලාශ්‍රය වූ කලපුවට ආසන්නයේ පිහිටි ළිඳ ද වසරේ වැඩි කාලයක් ලවණාධිකව පැවතුනි. එබැවින් පිරිසිදු පානීය ජලය ගෙන ඒමට බෝට්ටු මගින් කල්පිටියට යෑමට මොහොත්තුවාරම ගම්වැසියන්ට සිදු විය.

මොහොත්තුවාරම පාසලේ පානීය ජල පෙරණ  පද්ධතිය සහ පාසල් ගොඩනැගිල්ල පිලිසකර කිරීමේ ව්‍යාපෘතිය සඳහා HNB ෆිනෑන්ස් සිය මූල්‍ය දායකත්වය ලබා දුන් අතර මෙහොත්තුවාරම පාසලේ ගුරු මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් මේ සඳහා සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.

පානීය ජල ව්‍යාපෘතිය පාසල් දරුදැරියන් වෙත පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ HNB ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ‘‘ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක සමාජ ප්‍රතිලාභය සහ ආත්ම තෘප්තිය උපරිම වන්නේ එම ව්‍යාපෘතිය මගින් කොපමණ බලපෑමක් එම සමාජයට සිදු වනවාද කියන සාධය මතයි. කාලාන්තරයක් පුරා පානීය ජල හිඟයකින් පෙළුනු මොහොත්තුවාරම වැනි ගම්මානයක එම ගැටලූවට ස්ථිර සාර විසඳුමක් ලබා දීමටත් පාසලේ අත්‍යාවශ්‍ය අංග පිලිසකර කිරීම තුළින් මෙම ගම්මානය සහ පාසල ඉදිරියේදී උපරිම වශයෙන් ප්‍රතිලාභ  අත්කර ගනු ඇතැයි මම විශ්වාස කරනවා. එමෙන්ම ඉදිරියේදී සැබෑලෙසම උපකාර අවැසි ප්‍රජාව වෙත ගොස් ඔවුනගේ අවශ්‍යතා ඉටු කර දීමට HNB ෆිනෑන්ස් නිබඳව කැපවී සිටිනවා’’ යනුවෙන් පැවසීය.

මෙම උත්සවයට සහභාගී වූ මොහොත්තුවාරම රජයේ සිංහල විද්‍යාලයේ විදුහල්පති දිනේෂ් කුමාරරත්න මහතා අදහස් දක්වමින් ‘‘අද මේ සැබෑ වෙන්නේ අපි කාලයක් පුරා දැක්ක හීනයක්. පාසැලේ ගුරු මණ්ඩලය වරින් වර  අදාල වගකිව යුතු ආයතනවලට  මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කළත් ඊට කිසිම ස්ථිරසාර විසඳුමක් ඔවුන්ගෙන් ලැබුණේ නෑ. ඒත් අපේ ඉල්ලීමකින් තොරවම අපේ අවශ්‍යතාව සොයාගෙන ඇවිත් අපේ ඒ ජල ප්‍රශ්නය  විතරක් නෙවෙයි ගරාවැටුණු පැසැල් ගොඩනැගිල්ල නවීකරණය කරලා දීලා එතැනින් නොනැවතී අපේ පාසැලට නාම පුවරුවක්, මෙතෙක් අඩුවක්ව පැවති පාසැල් ලාංඡනයක්, පාසැල් කොඩියක් පවා නිර්මාණය කරදී මේ දරුපැටවුන්ට, ඔවුන්ගේ දෙමව්පියන්ට මේ අපේ පාසැල කියලා ආඩම්බර විය හැකි පාසැල් වට පිටාවක් නිර්මාණය කරදීම පිළිබඳව අපි HNB ෆයිනෑන්ස්  ලිමිටඩ්හි මේ සඳහා උරදුන් සියළුම නිළධාරී මහත්වරුන්ට ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මේක වචනයෙන් විස්තර කළ නොහැකි පිංකමක්’’ යනුවෙන් පැවසීය.

HNB Finance  සමාගම 2011 අංක 42 දරණ මුල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් වන අතර මූල්‍ය ක්‍ෂේත්‍රයේ  ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ HNB Finance  සමාගම ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් සියලූම මූල්‍ය සේවා දීපව්‍යාප්තව ලබා දෙයි. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් සවි බල ගන්වමින් ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සැපයීම තුළින් මෙරට ආර්ථිකය සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටී.

Share