සිද්ධාලේප බාම් එක හැදුනෙ මෙහෙමයි !



ලංකාවේ ඕනෑම කොණක තියෙන ගෙදරකට, හේනකට, වගා පැලකට, බෝට්ටුවකට හෝ වැඩපලකට ගියොත් අපිට සිද්ධාලේප කුප්පියක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. මොකද වචනයේ අර්ථයෙන්ම මේ සිද්ධාලේප කුප්පිය සෑම ගෙදරක ම සිටිය යුතු වෙදමහත්තයා වී අවසන්. සිද්ධාලේපය කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට ගොඩක්ම ළඟ ඕනෑම ලෙඩකදී අපි හැමෝටම මතක් වෙන පළමු අත් බෙහෙත. සිද්ධාලේප ව්‍යාපාරයේ ආරම්භය සිට අද වෙනකන් පැමිණි ගමන නම් මල් යහනාවක් නෙමෙයි. නමුත් දැනගත යුතුම හිතට හයියක් ගෙනෙන දිරිය කථාවක්. ඉතින් අපි ඒ ගැන අද කියවමු.

අද වෙනකොට මුළු රට පුරාම වෑන් සියගණනකින් සිද්ධාලේපබෙදා හැරියත් මුලින්ම මේ සිද්ධාලේප බෙහෙත් කුප්පිය රට වටේම බෙදා හැරියේ තනි මිනිසෙකුගේ කර මතින්. ඒ මීට අවුරුදු තිස් එකකට කලින්. ඔහු තමයි හෙට්ටිගොඩ සමුහ ව්‍යාපාරයේ අධිපති දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ මහතා. වික්ටර් හෙට්ටිගොඩ උපන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වල්පොල ග්‍රාමයේ. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක් සහ ජ්‍යොතිශාස්ත්‍රඥයෙක්. ඔහුගේ සීයාත් ආයුර්වේද වෛද්‍යවරයෙක්.

ඔහු ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ. නමුත් ඔහුගේ මවගේ වියෝවත් සමග ඔහු නැවතත් ගමේ පාසලටම පැමිණියා. ඒ වගේම තම පියා වගේ වෙදකම හෝ ජෝතිර්වේදය හෝ ගැන ඔහුට නම් අදහසක් නම් තිබුණේ නෑ. ඔහුට ඕනෑ වුණේ හොඳ වෙළෙන්දෙක් වෙලා හොඳ ගෙයක්, හොඳ කාරෙකක්, හොඳ බිරිඳක් තමයි ඔහුගේ හිතේ තීබුණේ.

ඉතින් පාසලෙන් අස් වුණු මෙම තරුණයාගේ මුල්ම රැකියාව වුණේ තලවකැලේ හේමචන්ද්‍ර සමාගම. 1959 අවුරුද්දේදී ඔහු එහි වෙළෙඳ සේවකයෙක් විදියට වැඩ කළා. පඩිය මාසෙට රු. 18.50 යි. වෙළෙඳාම කියන විෂයට අත්පොත තැබුවේ හේමචන්ද්‍ර ස්ටෝස් එකෙන්. අවුරුද්දක සේවා කාලයකින් පසු ඔහු ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලේ එකවුන්ට් ක්ලාක් කෙනෙක් විදියට වැඩ කළා. ඊළඟට විද්‍යෝදය විශ්වවිද්‍යාල එකවුන්ට ක්ලාක් කෙනෙක් විදියට ගියා. එතැනින් අස් වෙලා එම්. ඩී. ගුණසේන සමාගමේ පොත් සේල්ස්මන් කෙනෙක් විදියට වැඩට ගියා. හැම තැනම වැඩ ටික දවස යි. අවුරුද්දයි දෙකයි. අස් වෙනවා අලුත් තැනකට යනවා.

ඔහු වැඩ කරපු මේ හැම තැනකින්ම යමක් ඉගෙන ගත්තා. මේ අතර ඔහු ගුරුවරියක් සමග විවාහ වුණා. මේ වන විටත් ඔහු ජිවත් වුණේ කුලී ගෙදරක. එය ඔහුගේ හිතට වද දුන්නා. ඊළගට ඔහු ගියේ “අද පත්තරේට. එතනින් අයින් වෙලා ගමට ගිය ඔහුට තාත්තා අපූරු තෑග්ගක් දුන්නා. ඒ තමයී, සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව. තාත්තා එය ඔහුට නීතියෙන්ම ලියලා දුන්නා. ඒත් වට්ටෝරුව අරන් කොළොඹ ආවත් බෙහෙත් හදන්න සල්ලි තිබුණේ නෑ. ඒ නිසා ඔහු බදු ඉඩම්වල එළවළු වවන්න පටන් ගත්තා. ඒ ලැබුණු අදායමත් ඔහුගේ ගෙදරදොරේ දරුවන්ගේ වියදම්වලට ප්‍රමාණවත් වුණේ නෑ. කුලී නිවසෙන් අයින් වෙන්නත් සිදු වුණා.

මේ අතරේ ඔහුගේ බිරිඳගේ අම්මා ඔවුන් බැලීමට පැමිණෙනවා. ඉතින් ඔහු ඔහුගේ සිද්ධාලේප වට්ටෝරුවේ අදහස ගැන ඇයට කියනවා. ඇය පොරොන්දු වෙනවා ඔහුට රු. 2500ක් දෙන්න. ඒ ලැබුණු සල්ලිවලින් ඔහු බෙහෙත හදන්න ඕන කරන බෙහෙත් දඩු, කොළ, මුල් ජාති කපල කොටල, රත් කරල පළමු සිද්ධාලේප ස්වල්පය ඔහු හදා ගත්තා. ඒ හද ගත්ත සිද්ධාලේප කුප්පි ටික අරගෙන ඔහු ගමක් ගමක් ගානේ පයින්ම වෙළදාමට ගියා.

එතකොට සිද්ධාලේප කුප්පියක මිල රුපියලයි. ඒත් කිසිම කඩේකින් මේ කුප්පි ගන්න ඉදිරිපත් වුණේ නෑ. මොකද ඒ වෙනකොට පිටරටවලින් ගෙන්වපු බාම් වර්ග කඩවල්වල ඕන තරමට තිබුණා. අන්තිමට ඔහු මෙහෙම යෝජනාවක් ගේනවා. ඒ ඔහුගේ බෙහෙත් කුප්පිය තියාගෙන ගුණාගුණ බලන්න කියලා. අන්න ඒ ක්‍රමේ හරිගියා. සිද්ධාලේපවල තියෙන ඖෂධීය ගුණය වෙළෙන්දන් වටහා ගත්තා. ඉන් පස්සේ දවසකට කුප්පි දහයක් දොළහක් විකිණෙන තරමට ආවා.

තවමත් ඔහු ගමින් ගමට නගරයෙන් නගරයට පයින්ම වෙළඳාමේ ගියා. ඈත නගරයකට ගිය විට ඔහු දවල්ට කැවේ නෑ. එහෙම කළේ වේලක මුදල ඉතුරු කරගන්න. රෑට නිදා ගත්තේ පේමන්ට් එකේ. ඒ ඇඳක කුලිය වන රු. 5ක මුදල ඉතුරු කරගන්න. දෙපයින් ඇවිදල බෙහෙත් විකිණීමෙන් ලැබුණු මුදල ඉන්නේ ගැටහගෙනයි ඔහු පේමන්ට් එකේ නිදා ගත්තේ. මේ ගත වුණේ ඔහුගේ අමාරුම කාලයයි.

ඈත දුර නගරයකට ගිය විට ඔහු ගෙදරට ටෙලිග්‍රෑම් එකක් එවනවා. සිද්ධාලේප කුප්පි මෙපමණක් කෝච්චියෙන් එවන්න කියල. ඔන්න ඔහොම දවසකට රු. 5000 ක සිද්ධාලේප විකුණා ගන්න පුළුවන් තරමට ඔහු හිස් එසෙව්වා. ඔන්න ඔය කාලේ ඔහු මේ වැඩේ තනියම කරන්න බැරි නිසා ගෝලයෙක් ගත්තා. ගෝලයා දවසට පන්දාහක බෙහෙත් විකුණ ගන්න දක්‍ෂ වුණා. ඒත් දවසක් ගෝලයා රු. 5000 කුත් එක්කම අතුරුදන් වුණා.

ඔහුට වඩාත් ම කණගාටු දැනුන දවසක් එදා. ඔහු පිටකොටුවේ තොග වෙළෙන්දන්ට සිදු වූ ඇත්ත තත්වය කියා ණය වෙවී ආයෙමත් බෙහෙත් බඩු ගත්තා. මේ වන විට සිද්ධාලේප නමට රට පුරා නමක් හැදෙමින් තිබුණා. ඒ නම හැදුණේ රට පුරා පයින් ගිය ඔහුගේ දෙපයට පිං සිද්ධ වෙන්නයි. ඔහු නැවතත් ගෝලයෝ දෙන්නෙක් අරන් තුන්දෙනාම බස්වල කොච්විවල තුන් පැත්තට ගියා. එන්න එන්නම අදායම සරු වුණා.

ඔහුගේ හීනය වුණු වාහනේකටත් ඔහු අත ගැහුවා. ඔහු 5000 ක් දීලා පරණ හිල්මන් කාරෙකක් ගත්තා. නමුත් ඒකෙන් වෙළෙඳාමේ යන්න බෑ. වාහනේ ලෙඩ දෙනවා. ඉතින් ඔහුගේ වාහන සිහිනය නැති වෙලා ගියා. වෑන් එකක් ගන්න ඔහු ගෙදරදොර වියදම් අඩු කළා. පිටරටින් ගෙන්වන ඩෙලිකා වෑන් එකක් එදා රු. 35,000 යි. ඔහු වාහන ගෙන්වන්නකුට රු. 5000 ක් දුන්නා. මාස ගණනකට පස්සේ වාහනේ ආවා. තිස්පන්දාහකටත් වැඩි ෆිනෑන්ස් එකක් ගෙවලා ඔහු වාහනේ අතට ගත්තා. එදා තමයි ඔහුගේ ජීවිතේ වඩාත් ම සතුටු දවස. මෙතෙක් පයින් ඇවිද ගිය ඔහු එතැන් සිට රට පුරා යන ගමන ආරම්භ කළේ ඒ ඩෙලිකා වෑන් රථයෙන්.

ඒ පටන් ගත් ගමන් ඔහු තවමත් එලෙසින්ම ධෛර්යවන්තව යනවා. අද සිද්ධාලේප බෙදාහරින්න වාහන පමණක් ම 200කට වඩා තියෙනවා. වික්ටර් හෙට්ටිගොඩ මහතා අද ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශාල නමක් දිනූ පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ප්‍රේමදාස රජය කාලයේ මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්. ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයෙක්. එජාප නව රජය යටතේ ඔහු සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකි. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේත් උපදේශකවරයෙක්. ඒ හැර සතොස හා විද්‍යායාත්මක පර්යේෂණ හා කාර්මික ආයතනයේත් අධ්‍යක්ෂවරයෙක්. නමුත් මේ එකදු ආයතනයකින් වත් තම සේවාව වෙනුවෙන් කිසිදු දිමනාවක් තමා ලබානොගන්නා බව ඔහු කියා සිටියා. මේ වෙනකොට සිද්ධාලේප සන්නාමය යටතේ බොහෝ ව්‍යාපාරයන් තිබෙනවා.

ඉතින් ඔහුගේ කථාව අපි හයියක් කර ගනිමු. අපේ කථාවේත් වෙනසක් දකිමු. මෙලොව කිසිවක් ලේසි නැත, නමුත් බැරි නැත.

උපුටා ගැනීම: දුක දිනා ජය ගත් මිනිස්සු, චන්ද්‍රසිරි දොඩන්ගොඩ

Share