වැරදි 07 න් බේරිලා බිස්නස් එකක් පටන් ගන්න



ව්‍යාපාරික ලෝකයේ අද වෙනකොට සාර්ථක වෙලා ඉන්න ව්‍යාපාරිකයින් හැමෝම කියන කථාවක් තමයි එයාලා පටන් ගන්නකොට ගොඩක් තැන්වලදි වැරදුණා කියන එක. ඒ හැම වැරදීමක්ම නිසා එයාලාට හිතුවට වඩා වැඩියෙන් වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් එයාලගේ ඒ අත්දැකීම් අලුතෙන්  බිස්නස් ලෝකයට එන අයට ලොකු පාඩමක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවායින් වැදගත්ම ටිකක්.

හරියටම හරියන බිස්නස් නමක් තෝරගන්න

බිස්නස් එකට නමක් හිතනකොට කලබල වෙලාවත් කවුරුහරි කියන නිසාවත් නම ලස්සන නිසාවත් විතරක්ම එකපාරටම නමක් තෝරගන්න එපා. ඔබ තෝරගන්න නමට පිටරටවල්වල තියෙන තේරුමත් හොයලා බලන්න. මොකද අනාගතයේදී ඔබ පිටරටවල් එක්ක ගනුදෙනු කරනකොට නම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම පාරිභෝගිකයින්ගේ මතකයේ රැඳෙන නමක් වෙන්නත්  ඕන. තවත් වැදගත්ම දෙයක් තමයි ඔබ බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදනවනම් ඔබ තෝරගන්න නමින් වෙන වෙබිසයිට් නැතිවෙන්නත්  ඕන. ඉතින් දැන් තේරෙනවා නේද නමක් හොයන එක හිතන තරම් ලේසි නෑ. හැබැයි හරිම නම හොයා ගත්තතොත් ඔබ දිනුම්.

ඔබේ ලෝගෝ එක ඔබම හදන්න එපා

බිස්නස් එකට හදන ලෝගෝ එක තමයි හැමෝගෙම මතකයේ රැඳෙන්නේ. ඒ වගේම ඔබේ බිස්නස් එකට අදාල වෙන ලෙටර් හෙඩ්ස්, බිස්නස් කාඩ්ස්වල  වගේම වෙබ් සයිට් එකේ සෝෂල් මීඩියාවල වුණත් ලෝගෝ එකෙන් තමයි ඔබේ බිස්නස් එක පාරිභෝගිකයින් හඳුනගන්නේ. ඉතින් ඔබ හිතනවා නම් ඔබට ෆොටෝෂොප් එහෙම පුඵවන් නිසා ඔබේ ලෝගෝ එකම ඔබම කරගන්න  ඕන කියලා ඒක ඒ තරම් හොඳ  තීරණයක් නෙමෙයි. මොකද එතකොට ඔබේ අතින් හැදෙන්නේ ඔබේ බිස්නස් එකටම සුවිශේෂී වුණු ලෝගෝ එකකට වඩා ඔබ කලින් දැකලා මතකයේ තියෙන වෙනත් ලෝගෝ එකක් හා සමාන එකක්. හොඳම දේ තමයි ඒ ගැන පළපුරුදු කෙනෙක්ගෙන් උපදසේ ගන්න එක. ඒ වෙලාවෙදි ඔබට පුළුවන් ඔබේ අදහසුත් එකතු කරන්න.

ඕනම දේවල් විතරක් මුලින් ගන්න

ඔබට  ඕන කරන හැම උපකරණයක්ම බිස්නස් එක පටන් ගන්නකොටම ගන්න යන්න එපා. මුලින්ම බිස්නස් එකට අත්‍යාවශ්‍යම දේවල් විතරක් ගන්න. ඊට පස්සේ හැම මාසෙම ආදායමෙන් කොටසක් වෙන් කරන්න අනෙක් බඩු ගන්න. ඊට පස්සේ බිස්නස් එක ටික ටික දියුණු වෙනකොට ලොකු ලොකු බඩු අරගෙන බිස්නස් එක වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන්.

හොඳ Marketing Strategy එකක් හදාගන්න

මොකකද මේ Marketing Strategy එකක් කියන්නේ? හැමෝටම ඒ ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. ඔබට පුළුවන් ඒ ගැන දැනුම ලබාදෙන ආයතනයක් හෝ පුද්ගලයෙක්ගේ උදව් ගන්න. මේකෙන් වෙන්නේ ඔබ ඉලක්ක කරන පාරිභෝගිකයා කවුද එතකොට ඔබේ බිස්නස් එකට සුදුසු විකුණුම් ක්‍රම මොනවද දැන්වීම් කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන එක. ඔබේ බිස්නස් එකට හොඳ Marketing Strategy එකක් තියෙනවා නම් තරගකාරිත්වයට මුහුණ දෙන්න තරම් ඔබ ශක්තිමත්.

තනිවෙන එක නුවණට හුරු නෑ

බිස්නස් එකක් පටන් ගත්ත මුල් කාලෙදි ගොඩක් අය බිස්නස් එකටම හිරවෙලා  රෑ දවල් එක දිගට තනියම වැඩ කරනවා. මහන්සි වෙන එක හොඳ  වුණාට තනිවෙන එක නම් හොඳ නෑ. ඉතින් වෙනදට වඩා වටපිටාවේ අයව ඇසුරු කරන්න මතක තියාගන්න. මොකද බිස්නස් එක පටන් ගත්ත ගමන් ඔයාගේ හිතේ තියෙන පීඩනය ගොඩක් වැඩියි. ඉතින් බිස්නස් දැනුම තියෙන අය එක්ක අදහස් හුවමාරු කරගන්න. එයාලාගේ අත්දැකීම් හොයලා බලන්න. ඔබ ලෝකයට විවර වෙන තරමටම ඔබේ බිස්නස් එකට අලුත්  අලුත් අදහස් හොයා ගන්නත් පුළුවන්.

හිතෙන හිතෙන ගණන්වලට බඩු විකුණන්න එපා

“මට බිස්නස් අඩුයි ඒ නිසා බිස්නස් වැඩි වෙන විදියට ගාණ දානවා” කියලා හිතන එක දිගු කාලීනව හෙඳ  දෙයක් නෙමෙයි. විකුණන ගණන තීරණය කරන්න කලින් හොයලා බලන්න  ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔබේ විකුණන දෙය හා සමාන තවත් දේවල් වෙළඳපොළේ තියෙනවා නම් ඒවායේ ගණන් හොයලා බලන්න. ඒ වගේම ඔබේ බිස්නස් එකට යන වියදම් කොච්චරද කියල බලන්න. ඊට පස්සේ ලාබයක් තියාගෙන වැඩිත් නැති අඩුත් නැති ගණනක් ඔබේ විකුණුම් මිල කරගන්න. බිස්නස් එකෙන් ඉලක්ක කරන පාරිභෝගිකයින්ට අනුව ඔබේ මිල ගණන් අඩු වැඩි කරන්නත් ඔබට පුළුවන්

Busy වෙන්න එපා Productive වෙන්න

ඔබට හිතෙන්න පුළුවන් Busy වුණාම තමයි වැඩ කරනවා කියලා තේරෙන්නේ කියලා. හැබැයි ඒක එහෙමම නෑ. මොකද ඔබ අනවශ්‍ය වැඩ එක්ක Busy වුණොත් අවශ්‍ය දේවල් මගහැරෙන්න පුළුවන්. ඊමේල්ස් චෙක් කරනකොට එකම අය එක්ක අනවශ්‍ය විදියට මීටින්ස් ඇදෙනකොට ඔබ Busy වෙයි හැබැයි ඒ වෙලාව ඵලදායී වෙන්නේ නම් නෑ. ඒ නිසා දවසට කරන්න තියෙන වැඩ ටික ලියාගන්න. දවස ඉවරවෙනකොට ඒ වැඩ ටිකත් ඉවර කරගන්න වෙලාව හදාගන්න.

මේ විදියට ඔබ අලුතෙන් පටන් ගන්න බිස්නස් එකත් හරියට දියුණු කරගන්න. මේ ගැන ඔබ මොකද හිතන්නේ කියලත් අපිට කියන්න අමතක කරන්න එපා.

Share