මේ නම් ගන්නම ඕන පොත් ටිකක්



ඔන්න කියවන්නෝ හැමෝටම සතුටු හිතෙන ආරංචියක් තමයි මෙදා සැරෙත් BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනේ. ඉතින් අපි හිතුවා පොත් ගන්න යන ඔයාට පොඩි උදව්වක් කරන්න. මොකද පොත් ගොඩාක් දැක්කම ගන්නේ මොනවද කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් ඔන්න අද අපි කියන්නේ 2020 වසර සඳහා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා අවසන් වටයට නිර්දේශිත කෘති 12 ගැන. ඔන්න ඉතින් පොත් ගන්නකොට මේ පොත් ගැනත් මතක තියාගන්න.

01) අතකින් අම්මාය අතකින් මෙරමාය – පී බී ජයසේකර

“ලීයකට  කැටයමක්  ඔබ්බවනව වගේ ආදරය  මිනිස් හිතට ඔබ්බවන්න  බෑ.  මොකද  ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත්⁣ වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ… ”

02) බලන් පුර සිරි නෙත් වසා – රූපා ශ්‍රියාණි ඒකනායක

“ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ..  උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ. මුළු අමාත්‍යාංශයෙ ම වැඳ වැටෙනවා පියන් ගේ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම.. මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනවා… එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන.. නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි.. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නෙ.. ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්.. නිකන් ෆෝන්.. ලැප්ටොප්… කම්පියුටර්.. අතට පයට දැසි දස්සෝ.. කොටින් ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක් ගැහුවත් ඒ තත්වෙට නං ළං වෙන්න බෑ කිව්වෙ ඒකයි..”

03) කන්ද උඩ ගින්දර – ජැක්සන් ඇන්තනී

“කන්ද උඩරට කතන්දර බොහොමයක් අපි කියවලා ඇති. ඉතින් “කන්ද උඩරට ගින්දර” ඒ ඔබ දන්නා කතාවලින් වෙනස් වන්නටත් පුළුවන්. ඉතින් කියවලම බලන්න.”

04)  කුමර කොබෙයි – ශමෙල් ජයකොඩි

“මෙහි කථාව වන්නේ නිහඬ ගති පැවතුම් ඇති,  කෘෂිකර්ම උපාධියක් හිමි  ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා වන කාලිංග බැලීමට යාමයි. විවිධ අත්දැකීම් ලබමින් යන මේ ගමනේ අවසානය කුමක් වේද?”

05) නිම්නාගේ ඉතිහාසය – කෞශල්‍ය කුමාරසිංහ

” 1989 නොවැම්බර් 09 වනදා නිම්නා උපදිනවා. එදා ඉතිහාසයත් අලුතෙන් ඇරඹෙනවා. ඉතින් එදා ඉඳන් නිම්නාට වයස අවුරුදු 25 විතර වෙනකන් යන මේ කතාවේ සියවසක කතන්දර කැටි වෙලා තියෙනවා. ඉතින් මේ “නිම්නාගේ ඉතිහාසය” තුළ වෙනවා ඇත්තේ මොනවද?

06) නිෂ්ක‍්‍රාන්තිය – සුනේත්‍රා රාජකරුණානායක

“මරාගෙන මැරෙන  ආගමික වියරුව මැද  මිනිසුන් ද, නීතිය ද, නිෂ්ක්‍රාන්තියට පත් වන්නට ඉඩ දිය නො හැකි ය.”

07)  පන්හිඳ – සාගර විජේසේන

“මයෙ දෑහට පෙනි පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වෙ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරල අන්තිම එකාට සැප මදිවෙලා කෙල්ල කපල දාල ගියෙ” තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියවූ උංගිරාළ අවසානයේ තම දියණිය සිහි කරමින් හඬන පළමු වතාව සේ මොරගෙඩි වන් කඳුළු කැට බේරෙමින් වැලපෙන්නට වූයේ ය. ගම්බිම් මංකොල්ල කමින්, වස්තුව එකතු කරමින් හිඳ මේ දුරු රටක, මේ අද දිනයේ, මේ මෙතන මේ කිතුල් ගහ යට දෙපළු වී යන්නට නියමිත ඉරණම සොයා ගවු සියදහස් ගණනක් දුර සිට මූදු හතක් තරණය කර ආ අවාසනාවන්ත පරංගියාගේ ඉරණම පිළිබඳව සිතමින් නැග එන ඔක්කාරය මැද දෙපසට කඩා වැටුණු ගස් අතු දෙකක් සේ කඳෙන් එල්ලෙන සිරුරේ පලු දෙක දෙස නැවතත් බැලූ හින්නි හාත්පස වට වී සිටින පිරිස අතරින් රිංගා ඈතට පියමැන්නේ ය. බොහෝ දුරක් යන තුරු අංගච්ඡේදනය කරන පරංගින්ගේ විලාප හඬවල් ඔහු පසුපසින් හඹා ආවේය.”

08) පේත – එරික් ඉලයප්ආරච්චි

මෙහි කතාව වන්නේ ත්‍රස්ථවාදී සමයේදී පිළිකා රෝගී කොටි කාන්තාවක් නිවසක තබාගෙන සාත්තු සප්පායම් කිරීම හා ඇය මිය ගිය පසු හොර රහසේම වළලා දැමීම හේතුවෙන් සිදු වූ සාමාජයීය ගැටලුවයි. ඉතින් කියවලා බලලම හොඳ නරක කියන්න.

09) පොල් මට්ටා – ප්‍රේමකීර්ති රණතුංග

“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා… ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ. ටිකක් වෙලා යනකොට මේකා අඬනවා. මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකාගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ. හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා. තේරුණාද?”

10) රතු ඉරි අඳින අත – රතු ඉරි අඳින අත

“මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය  ආඛ්‍යාන අංග වේගයෙන්  දිවෙන ක්‍රියාදාම වලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන් ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේ ය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.  ”

11) රුදු රොන් සුනු – කීර්ති වැලිසරගේ

” ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා  ඇයට අත ඔසවා ආචාර කළේ ය. ඇය ද මඳක් එසවුණු අතින් ඔහුට සමු දුන්නා ය. රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්‍රීනය දිගේ ඉහළ නැඟී, දෙපසින් වහ වහා අතුරුදන් වේ. ඒ කෘශ ගස වියපත්ව, එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සඳහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ. සියල්ල සිදු වී සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වී අවසන් ය. ඈ යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා? ”

12) තී හා තා – සුරත් ද මැල්

“අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. ඒ වගේම හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්‍ර වේ. ”

Share