ටොයොටා ලංකා සමාගමේ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන්ට සම්මාන



2019 ජූලි 02, කොළඹ: ටොයොටා රථවාහන සහ අමතර කොටස් සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගියදා බණ්ඩාරගම ‘කාටින් සර්කිට්’ පරිශ්‍රයේදී පැවැත්විණි. ටොයොටා ලංකා සමාගම මගින් ගෙන්වා බෙදාහරින ටොයොටා ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස් සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කරන 235 දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2018/19 මූල්‍ය වර්ෂය තුළදී විකුණුම් අතින් විශිෂ්ට ප්‍රගතියක් අත්පත් කරගත් අලෙවි නියෝජිතයෝ මෙහිදී ඇගයීමට ලක්වූහ. ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා සහ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන් විසින් ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනමන ලදි. අමතර කොටස් කාණ්ඩයේ ඉහළම සම්මානය ලොයිඩ් ඔටෝමාට් (පුද්.) සමාගම වෙත හිමිවූ අතර සේවා සහ අමතර කොටස් කාණ්ඩයේ ප්‍රමුඛතම සම්මානය ඔටෝ වර්ල්ඞ් (පුද්.) සමාගම වෙත හිමි විය. ජයග්‍රහකයින් වෙත යුරෝපය, රුසියාව, වියට්නාමය හා තායිලන්තය වෙත විදේශ සංචාර පිරිනමන ලදි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා මෙසේ පැවසී ය. ‘‘ටොයොටා වැනි ගෝලීය මට්ටමේ සමාගම් වලට, ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයන් වෙත සේවා සැපයීමේදී විශ්වාසනීය අලෙවි නියෝජිත ජාලයක් අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේදී එවැනි ජාලයක් නිර්මාණය කරගැනීමට අපට හැකිවී තිබෙනවා. අපගේ සාර්ථකත්වයට ඔවුන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙන බව අපගේ විශ්වාසයයි. මේ අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය  අපගේ වාර්ෂික වැඩසටහන් අතර ඉතාමත් වැදගත් වැඩසටහනක්. මේ අලෙවි නියෝජිතයන් ටොයොටා සමාගම වෙත ලබාදෙන අඛණ්ඩ සහයෝගයට ස්තූතිය පළකිරීමටත්, ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා සුබපැතීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

‘Toyota Grand Prix 2019’  යන තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී අලෙවි නියෝජිතයන්ට දවස පුරා ‘ගෝ කාට්’ ධාවනය ඇතුළුව විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් විනෝද වීමට අවස්ථාව හිමි විය. එමෙන්ම එහිදී ඔවුන්ට දිවයින පුරා විසිරී සිටින අනෙකුත් අලෙවි නියෝජිතයන් හඳුනාගැනීමටද මහඟු අවස්ථාවක් ලැබිණි. මෙම උත්සවයේදී ‘Toyota Lanka B2B Rewards’  වැඩසටහන දියත් කිරීමද සිදුවූ අතර, මෙම වසරේදී අලෙවි නියෝජිතයන්ට ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වෙත සංචාර දිනාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

‘‘රථවාහන කර්මාන්තයේ තරගකාරීත්වය වැඩිවීම සහ එය නිරන්තර වෙනස්කම්වලට ලක්වීම සිදුවන පසුබිමක පවා ටොයොටා ලංකා සමාගම දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. මේ සාර්ථකත්වයට අපගේ අලෙවි නියෝජිතයන් වෙතින් ලැබෙන දායකත්වය විශාලයි. ඉදිරියටත් මේ සහයෝගය මෙලෙසම ඔවුන්ගෙන් අපට හිමිවේවි කියා මා සිතනවා. මේ එකමුතුව ඔස්සේ අපට දිගින් දිගටම අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව ලැබේවි.” ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසී ය.

මෙම උත්සවයේ එක් ප්‍රධානතම  අංගයක් වූයේ, ව්‍යාජ අමතර කොටස් සහ නියම ටොයොටා අමතර කොටස් වෙන් කර හඳුනාගන්නා ආකාරය සම්බන්ධයෙන් අලෙවි නියෝජිතයන් දැනුවත් කිරීමයි. නියම අමතර කොටස් අදාළ රථවල මනා ක්‍රියාකාරීත්වයට  උපකාරී වන පරිදි ඉතාමත් නිවැරදිව නිෂ්පාදනය කර ඇති බවත්, ව්‍යාජ අමතර කොටස් නිපදවා ඇත්තේ එවැනි සැලකිල්ලකින් තොරව, වගකීම් විරහිතව බවත් එහිදී පෙන්වා දෙන ලදි. ව්‍යාජ අමතර කොටස් වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ටොයෝටා ලංකා සමාගම ‘හොලග්‍රම්  ස්ටිකර්’ (Hologram Sticker)  ක්‍රමයක්  හඳුන්වා දී ඇති අතර එම ස්ටිකරය සූරා බැලීමෙන් අදාළ අමතර කොටස අව්‍යාජ කොටසක් බවට තහවුරු කරගත හැක. එහි සඳහන් රහස්‍ය අංකය 0712 939000 අංකයට SMS  කළ පසුව තත්පර 30 ක් ඇතුළත තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබෙනු ඇත.

‘Toyota Genuine Engine Flush’ . නිෂ්පාදනය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමද මෙම උත්සවයේදී සිදුකෙරිණි. සාමාන්‍යයෙන් වෙළඳපොළේ පවතින, ඩීසල් සහ පෙට්‍රල්  එන්ජින් වල පොදු නිෂ්පාදන වෙනුවට ‘Toyota Genuine Engine Flush’  නිෂ්පාදනය පැමිණෙනුයේ එක් එක් එන්ජින් වර්ගවලට විශේෂ වන වර්ග වශයෙනි. අක්‍රමවත්  ලෙස එන්ජින් ඔයිල් මාරු කිරීම සහ බාල ඉන්ධන වැනි හේතු නිසා එන්ජින් වලට ඇතිවන හානිය වැළැක්වීමට මෙම නිෂ්පාදනය උපකාරී වෙයි. මෙය ද්‍රවණය  නොවන නිෂ්පාදනයක් නිසා ඉතා පැරණි වාහන වලට යෙදුවද එමගින් අහිතකර බලපෑමක් ඇති නොවේ. ‘Toyota Genuine Engine Flush’ දැන් දිවයින පුරා ටොයොටා ලංකා ශාඛා වලින් සහ අමතර කොටස් නියෝජිතයන් වෙතින් ලබාගත හැක. 0112 939 000 අංකය ඇමතීමෙන් මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකි වේ.

Share