කාටද ඕන හොඳ කුඩයක්?



මේ දවස්වල හැමෝගෙම කතා බහට ලක්වුණු දෙයක් නේ මේ “කුඩේ” කියන්නේ. ඉතින් අව්වට වැස්සට පිහිටට ඉන්න මේ කුඩේ අපේ රටේ විතරක්ම නම් නෙමෙයි ප්‍රසිද්ධ. ලෝකේ වටේම එක එක විදියේ “කුඩ” මෝස්‌තර දකින්න පුළුවන්. ඉතින් අද අපි හිතුවා මෙන්න මේ වගේ අමුතු විදියේ කුඩ මෝස්තර ටිකක් ගැන කථා කරන්න. ඉතින් ළඟදි කුඩයක් එහෙම ගන්න කාටහරි අදහසක් තියෙනවා නම් ඕං අපි උදව් කළා.

01) Goggles Umbrella (ගොගල්ස් කුඩය)

මෙන්න මේ කුඩේ නම් වැස්ස කාලෙටම හොයා ගත්ත අපූරු කුඩයක්. මේ Goggles කුඩයේ විෂ්කම්භය සෙන්ටිමීටර 78 ක් වෙනවා. ඒ කියන්නේ ඉතින් මේ කුඩේ යටින් දෙන්නෙක්ට වුණත් යන්න පුළුවන් කියන එක. මේ කුඩේ තියෙන විශේෂත්වය තමයි මේ කුඩය පැමිණෙන්නේ ඇස් කණ්ණාඩි (Goggles) දෙකකුත් එක්ක. ඉතින් ඇගෙන් බාගයක්ම වැහිලා තිබුණත් පාර හොඳට පේනවා. ඒ වගේම මුහුණ සුළඟින් ආරක්ෂා කර ගන්නත් පුළුවන්. මේ කුඩේ හොයාගෙන තියෙන්නේ චීනෙන් කියලා තමයි ආරංචිය.

02) Japanese Samurai Sword Umbrella (ජපන් සමුරායි කුඩය)

මේ කුඩේ නම් දැක්ක ගමන් කියන්න පුළුවන් නේද රට මොකක්ද කියලා. ජපානයේ තියෙන මේ කුඩේ සාමාන්‍යයෙන් අපි දකින කුඩයක් නම් නෙමෙයි. මොකද, මේ කුඩේ පෙනුමෙන්ම තියෙන්නේ රණ ශූර ගතියක්. මෙම ජපන් සමුරායි කුඩය ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කරලා තියෙන්නේ සමුරායි කඩුව හසුරුවන විදියට. ඉතින් මේ කුඩේ අරන් යනකොට හිතට දැනෙන්නේ මමත් සමුරායි රණශූරයෙක් වගේ කියලා.

03) Dualbrella (කපල් කුඩේ )

ඔන්න ඉතින් ආදරේ කරන අයට නම් මේක තමයි මරුම කුඩේ. එක කුඩයක් අරගෙන යන වාසිය වගේම දෙන්නටම නොතෙමී යන්න පුළුවන් වාසිය මේ කුඩෙන් ලැබෙනවා. ඔන්න ඉතින් අර ඉස්සර දෙපැත්තෙන් තෙමි තෙමි දෙන්නත් එක්ක ගියා වගේ යන්න ඕන නෑ මේ කපල් කුඩේ ගත්තා නම්. ඔන්න මේ කුඩේ ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් හොඳේ.

04) Wheel and Seal Umbrella (රෝද කුඩය)

වැස්සට සමහර අය ආස වුණාට සමහර අයට නම් වැස්ස කියන්නේ මූඩ් අවුල් වෙන කාලගුණයක්. ඉතින් මෙන්න මේ නිසා තායිවානයේ නිර්මාණකරුවන් වන යූ-ටිං චෙං, යූ-හුන් චුන්ග් සහ ෂෝ-චෙන් චෙන් ළමයින් සඳහා මෙන්න මේ ‘රෝද කුඩය’ නිර්මාණය කරලා තියෙනවා. මෙහි සම්පුර්ණ අදහස වෙලා තියෙන්නේ වැස්සෙන් පස්සේ හැදෙන වතුරවලවල් එක්ක පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලබා දීමයි.

05) Vegetabrella (එළවලු කුඩය)

මේ කුඩයට අපි ‘සලාද කොළ කුඩය’ කිව්වත් ඉතින් වැරදි නෑ. මෙන්න මේ අපූරු කුඩයත් ජපනයේම නිර්මාණයක්. මේ කුඩය දෙකට තුනට නමන්න පුළුවන් කුඩයක් වන අතර මෙය හැකිළුවම පේන්නේ සලාද කොළ වගේ. ඒ වගේම මේ කුඩය පාරජම්බුල කිරණ පෙරණයක් කියලත් කියනවා. ඒ වගේම මේ කුඩයේ අසුරුමත් එළවළු පැකේජවලට සමානයි. මේ කුඩේ ඉතා සැහැල්ලු වුවද එය ඉතා ශක්තිමත් හා කැඩෙන බව අඩුයි කියලා තමයි හැමෝම කියන්නේ.

 

06) Water Gun Umbrella (වතුර තුවක්කු කුඩය)

මෙම Water Gun කුඩය ලන්ඩනයේ නිර්මාණකරුවෙකු වන ඇලෙක්ස් වුල්ලි විසින් නිර්මාණය කරන ලද සංකල්පයක්. මේ කුඩය මුදුනේ වතුර රඳවා ගැනීමට හැකි ඉඩක් ඇති අතර එය වතුර එකතු කර කුඩයේ පහළ ඇති තුවක්කු හැඩලය දක්වා විහිදෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ දකින දකින අයට වතුර විදින්න තමයි.

07) The Backpack Umbrella (බැක්පැක් කුඩය)

මේ කුඩේට නම් අපි හැමෝම කැමති වෙයි. මොකද කුඩේ අපිට අත රිදෙනකන් අල්ලාගෙන ඉන්න ඕන නෑ. මේ කුඩේ එන්නේ බැක්පැක් එකක් විදියට. ඉතින් කරන්න තියෙන්නේ බෑග් එකක් එල්ලගන්න විදියට මේ බැක්පැක් එක එල්ලගන්න විතරයි. කුඩේ රඳවලා තියෙන්නේ ඒකෙ. ඉතින් ඔයාට ඕන වෙලාවක හිසට උඩින් කුඩේ තියෙනවා.

ඔන්න ඉතින් අපිට අමතක වුණු කුඩයක් ගැන තියෙනවා නම් අපිට කියාගෙන යන්නත් අමතක කරන්න එපා හොඳද?

Share