ඉස්සර ලංකාවේ තිබුණු විලාසිතා



ෆැෂන් එහෙමත් නැත්නම් විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන දෙයක්. මොකද අපි එහෙම කියන්නේ? ඇයි ඉතින් කෙනෙක් කරන විලාසිතා තව කෙනෙක්ට පේන්නේ ටිකක් වැරදි විදියට වෙන්න පුළුවන් නේ… අපි හැමදාම කථා කරන්නේ අලුතෙන් එන විලාසිතා ගැන නේ. ඒ නිසා වෙනසකටත් එක්ක ඉස්සර ලංකාවේ තිබුණු විලාසිතා ටිකක් ගැන බලමුද? මුලින්ම කියන්නම්කෝ මේ අපි හොයා ගත්ත ඒවා ටිකක් විතරයි. අපිට මග හැරුණු ඒවා තියෙනවා නම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

01)මිනි ගවුම

මිනි ගවුම කියන්නේ 60 දශකයේ දී අපේ රටේ තරුණියන් අතර ජනප්‍රිය වූ ඇඳුම් විලාසිතාවක්. මේ ගැන සින්දු එහෙමත් ලියවුණා මතක ඇතිනේ නේද? ඒ කාලේ මේ ඇඳුම අපේ රටේ ෆිල්ම්ස්වලත් හරි හරියට තිබුණා. ඒ විතරක් නෙමෙයි අපේ ඒ කාලේ කෙල්ලෝ හරි හරියට මේ මිනි ගවුමට රහ වැටිලා හිටියලු. ඉතින් ඔන්න ඔය මිනි ගවුම වෙන්න ඇති නේද දැන් තව හැඩ වෙලා ඇවිත් තියෙන්නේ?

02)බෙල් බොටම්

බෙල් බොටම් කියන කලිසම් විලාසිතාවත් ඒ කලේ හරි ජනප්‍රියයි. මේක නම් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ම අතර තිබුණු විලාසිතාවක්. ලංකාවේ වගේම ඒ කාලේ ආපු හින්දි ෆිල්ම්ස්වලත් මේ විලාසිතාව හරියට තිබුණා. මේකෙන් අමුතු ලස්සනක් ආවා කියලා නම් නොකියම බෑ. මේ විලාසිතාවත් අලුත් වෙවී තාමත් අපි අතර තියෙනවා.

03) ඩිවයිඩඩ් ස්කර්ට් 

ඩිවයිඩඩ් ස්කර්ට් කියන්නේ ගොඩක් වෙලාවට ස්පෝර්ට්ස් කරන්න ඇඳපු විලාසිතාවක්. දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර කාලේ කෙල්ලෝ හවසට හවසට ගෙදර වත්තේ බැඩ්මින්ටන්, ටෙනිස් ගැහුවා. ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි මේක ඇන්දේ. කොහොමද ඒ කාලේ කෙල්ලෝ සෙට් එක නේද?

04)ඔසරි / සාරි

සාරි සහ ඔසරි විලාසිතා එදත් අද වගේම හැමෝම කැමති වුණු විලාසිතාවක්. ඉස්සර කෙල්ලෝ කඩේට යන්නත් සාරි ඇන්දා කියලා තමයි අපේ අම්මා නම් කියන්නේ. ඉතින් පොට කඩලා, පොට රැලි තියලා, උණ බම්බුවක් වගේ හිරට, සායක් වගේ සැහැල්ලුවට කියන එක එක විදියට මේ සාරි විලාසිතා තිබිලා තියෙනවා. අපිට හරියටම ඒවායේ photos හොයා ගන්න නම් බැරි වුණා. ඔන්න ඔයාලා ළඟ තියෙනවා නම් අපිටත් එවන්න හොඳේ.

05)කබා කුරුත්තු

මේ කබා කුරුත්තු කියන්නෙත් ඒ කාලේ හරි ජනප්‍රිය විලාසිතාවක්. අපි දැන් දකින ලුන්ගියට ටිකක් සමානයි. රෙද්දයි ඒකට ගැළපෙන හැට්ටයක් තමයි මේකට එන්නේ. මේ හැට්ටේ ඉතින් හරි ලස්සනයි. බීරළු කරලා රේන්ද අල්ලලා හරි හැඩේට මේක මහනවා. ඉතින් මේක ඇන්දම හරි අමුතු ගාම්භීර පෙනුමකුත් එනවා. අපිට මේ විලාසිතාවේ photo එකක් නම් හොයාගන්න බැරි වුණා.

06) ට්වීට් රෙද්ද / කබාය

මේ විලාසිතාව නම් පිරිමි පාර්ශ්වේ එකක්. වැදගත් ගමනක් යන්න කියපු ඇඳුම තමයිලු මේ. ට්වීට් රෙද්දෙන් මහන සරමයි ඒකට උඩින් අදින කාබයයි තමයි මේ විලාසිතාව. අපේ කොල්ලෝ සෙට් එක ඉස්සර හරි හැඩේට ඉන්න ඇති නේද? අපිට මේ විලාසිතාවේ photo එකකුත් හොයාගන්න නම් බැරි වුණා.

 

ඉතින් අපි කලින් කිව්වා වගේම ඔයා දන්න ඒ කාලේ විලාසිතා මේකට එකතු කරන්න. photos වුණත් කමක් නෑ හොඳේ…

Share